සූර්ය පැනල සවි කිරීමේදී වඩාත් සුදුසු දිශාව

අද දින වන විට පවතින ගෝලීය දේශගුණික විපර්යාස සලකා බැලීමේදී පුනර්ජනනීය බලශක්තියේ වෙත ප්‍රවිෂ්ඨ වීම අනිවාර්ය අවශ්‍යතාවයක් වෙමින් පවතී. විදුලි බලය යනු මානව වර්ගයාට අත්‍යවශ්‍ය පහසුකමක් වී ඇති බැවින් තවදුරටත් පොසිල ඉන්ධන දහනය සීමාකර පුනර්ජනනීය බලශක්තිය වෙත යෑම මානව සංහතියේ සහ අනෙකුත් ජීවීන් ඇතුළු පරිසරයේ යහ පැවැත්මට අත්‍යාවශ්‍ය වී ඇත. ශ්‍රී ලංකාව තුළද, වහල මත සූර්ය පැනල ස්ථාපනය කිරීම බෙහෙවින්ම ජනප්‍රිය වී ඇතත් නිසි ප්‍රමිතින් වලට අනුකූලව මෙම ස්ථාපනයන් සිදු නොවීම සහ, වාණිජ පරමාර්ථ මත මෙම ස්ථාපනයන් ලාභ ලැබීම පමණක්ම අරමුණු කරගෙන සිදුවීම තුළින්, ස්ථාපනය කරන පරිශ්‍රයේ සහ එහි වෙසෙන අයට ආරක්ෂාව පිළිබඳ අවදානමක් ඇතිවිය හැක. විශේෂයෙන්ම විදුලි ආරක්ෂක උපක්‍රම සහ නියමිත ප්‍රමිතීන් වලට අදාල උපකරණ හා රැහැන් භාවිතය, බිම් ගැන්වීම සඳහා ප්‍රමිතීන් වලට අනුව අවශ්‍ය හරස්කඩ වර්ගඵලය සහිත රැහැන් භාවිතය සහ, අකුණු ආරක්ෂණ පද්ධතියේ භාවිතා වන උපකරණ වල ප්‍රමාණය සහ ආරක්ෂක උපකරණ ඉතාමත් වැදගත් වේ.

සූර්ය පැනල සහ inverter රජයේ නිසි රෙගුලාසි වලට යටත්ව අනුමත වීම් සිදුවන නිසා, ඒවායේ ප්‍රමිතිය ඉතා ප්‍රශස්ත මට්ටමක පවති. නමුත් ස්ථාපනයේදී භාවිතා වන අනෙකුත් උපකරණ හා, විදුලි කාර්මිකයාගේ නිසි NVQ (National Vocational Qualification) සුදුසුකම දැනට නියාමනයක් සිදු කිරීමේ අපහසුතාව නිසා, පාරිභෝගිකයා ලෙස එම උපකරණ සහ ප්‍රමිතීන් ගැන මනා අවබෝධයක් තිබීම ඉතාමත් වැදගත් වේ. විදුලි ආරක්ෂාවට සහ ගින්නෙන් ඇතිවන අනතුරු අවම කර ගැනීමට සෝලා පැනල සහ inverter වලට වඩා වැඩි අවශ්‍යතාවයක් පවතින්නේ, ස්ථාපනය සඳහා භාවිතා කරන අනෙකුත් උපකරණ හා ස්ථාපනය සිදු කරන කාර්මිකයාගේ දැනුම පුහුණුව තුල වීම මෙයට ප්‍රධාන හේතුවය.

සූර්ය පැනල පද්ධතියක් ස්ථාපනය කිරීමේදී සිදු කළ ආයෝජනය ඉතා ඉක්මනින් ප්‍රතිපූර්ණ වීමට බලපානු ලබන්නේ සරල කරුණු දෙකකි.

  1. ප්‍රධාන කාරණය නම් වහල මත සවි කරන සූර්ය පැනල සීමිත දිශානතියට සහ ප්‍රමාණවත් අවකාශයක් සහිතව සවි කිරීමයි.
  2. දෙවැනි ප්‍රධාන කාරණාව වන්නේ, ඉතාමත් උදෑසනින්ම සූර්ය පැනල පද්ධතිය ක්‍රියාත්මක වන පරිදි සහ හිරු බැස යාමට ආසන්න වන තෙක් ම දවස පුරා උපරිම කාලයක් පුරාවට සූර්යාලෝකය හමුවේ ක්‍රියාත්මකව පවතින පරිදි සූර්ය පැනල arrays, inverter එකට සීරු මාරු කර සම්බන්ධ කිරීමයි.

සූර්ය පැනල සවි කිරීමේදී වඩාත් සුදුසු දිශාව

ලංකාව උතුරු අර්ධ ගෝලයේ අංශක 8 ක අක්ෂාංශයක් සහිතව පිහිටන නිසා, වර්ෂය තුළ වැඩිම විදුලියක් ජනනය වීමට නම් සවි කරන සූර්ය පැනල උතුරු-දකුණු දිශාවට නිවැරදි ආනතිය තිබීම වැදගත් වෙනවා.

ලංකාවේ පිහිටීම අනුව අවුරුද්දේ ප්‍රශස්ත නැඹුරු කෝණ:

  • ජනවාරි: 19°
  • පෙබරවාරි: 14°
  • මාර්තු: 9°
  • අප්‍රේල්: 4 °
  • මැයි: -1 °
  • ජූනි: -6 °
  • ජූලි: -1 °
  • අගෝස්තු: 4°
  • සැප්තැම්බර්: 9°
  • ඔක්තෝබර්: 14°
  • නොවැම්බර්: 19°
  • දෙසැම්බර්: 24°

වසර පුරා ප්‍රශස්ත නැඹුරු කෝණයන්ගේ මධ්‍යස්ථ අගයක් මගින් වැඩිම සඵල ජනනයක් ලබා ගැනීම, ඉලිප්සීය ගමන් මගේ හිරු පෘතුවියට ආසන්නවීම හා සූර්ය පැනල ස්වභාවිකව පිරිසිදු කිරීමට වර්ෂාවට ඉඩ සැලසීම, යන කරුණු සලකු විට වඩාත් සුදුසු නියත නැඹුරු කෝණය තිරස සමග දකුණු දිශාවට 9° – 10° ක් පමණ වේ.

විශේෂයෙන්ම, උදෑසන සූර්ය පැනල සිසිල් වීමට අවස්ථාව ලැබී තිබීම සහ උදෑසන පාරජම්බුල (UV) විකිරණවල තීව්රතාවයට සාපේක්ෂව සූර්යයාගෙන් ලැබෙන අධෝරක්ත (IR) විකිරණවල තීව්රතාවය සාපේක්ෂව අඩු වීම, උදෑසන බොහෝ විට පැහැදිලි අහසක් සහ අඩු වායු දූෂණයක් තිබීම, වැනි හේතු නිසා උදෑසන කාලයේ දී සුර්ය බල ජනනයේදී කාර්යක්ෂමතාව වැඩියි. හිරු පැයකට අංශක 15 ක පමණ වේගයකින් මුදුන් වන නිසා ඔබගේ වහල නැගෙනහිර-බටහිර දිශාවට ඇල වූ එකක් නම් දහවල් 11 පමණ වනවිට උපරිම ආලෝකයක් ලබා ගැනීමට හැකි පරිද්දෙන් පැනල 10° – 15° නැගෙනහිරට ආනතියක් කිරීම සුදුසු විය හැකියි. නමුත් වෙන වෙනම දකුණට අංශක 10ක් හා නැගෙනහිරට අංශක 10ක් යනු සඵලව ගිනිකොණ දිශාවට අංශක10 ක් වන නිසා වහලය ගිනිකොණ-වයඹ දිශාවට වුවක් නම් අංශක 10ක් ගිනිකොණ දෙසට වන ආනතිය භාවිතා කල හැක.

සාරාංශයක් ලෙස පිහිටි වහල බටහිර-නැගෙනහිර දිශාවට පවතී නම් නැගෙනහිරට අංශක 10කුත්, උතුරු-දකුණු දිශාවට ඇත්නම් දකුණට 10කුත් හෝ ගිනිකොණ-වයඹ දිශාවට ඇත්නම් ගිනිකොණ දිගට අංශක 10කුත් වන සේ සකසා ගැනීම තුළින් ඔබගේ විදුලි ජනනය වැඩි කර ගැනීමට කිරීමට හැකියාව ලැබෙනවා. එමෙන්ම බටහිරට, උතුරට හෝ වයඹට වන වහලයේ වන බැවුම් හැම විටම සුර්යය පැනල සවිකිරීම අවම කර ගන්න. බොහෝ විට වහල කොටස් (බෑවුම්) දෙකකින් තිබෙන නිසා බොහෝ නිවාස වලට ඉහත දිශාවන් වලට ඇති වහලයේ කොටස කිසියම් ලෙසක හෙවනැලි නොවැටේ නම් පැනල ස්ථාපනයට විශාල ගැටළුවක් නොවන බව පැහැදිලියි.

පොදු ජාත්‍යන්තර ප්‍රමිතීන් සහ මාර්ගෝපදේශ

ජාතික විදුලිබල ජාලයට සම්බන්ධ වහල මත සූර්ය පද්ධති සඳහා බහුලව අනුගමනය කරන පොදු ජාත්‍යන්තර ප්‍රමිතීන් සහ මාර්ගෝපදේශ කිහිපයක් තිබේ.

  1. IEC 62446: මෙම ප්‍රමිතිය ජාල සම්බන්ධිත ප්‍රකාශ වෝල්ටීයතා (PV) පද්ධති සැලසුම් කිරීම සහ ස්ථාපනය කිරීම සඳහා මාර්ගෝපදේශ සපයයි. එය පද්ධති ලියකියවිලි, පද්ධති සංරචක, ස්ථාපන අවශ්‍යතා සහ ජලයට සම්බන්ධ කිරීමේ කිරීමේ ක්‍රියා පටිපාටි වැනි අංශ ආවරණය කරයි.
  2. IEC 60364-7-712: මෙම ප්‍රමිතිය ප්‍රකාශ වෝල්ටීයතා (PV) බල සැපයුම් පද්ධතිවල විදුලි ස්ථාපනයන් කෙරෙහි විශේෂයෙන් අවධානය යොමු කරයි. එය උපකරණ තෝරා ගැනීම සහ ස්ථාපනය කිරීම සඳහා මාර්ගෝපදේශ සපයයි, රැහැන් ස්ථාපනය, විදුලි අනතුරු වලට එරෙහිව ආරක්ෂාව සහ ජාලයට සම්බන්ධ කිරීම සඳහා අවශ්ය වේ.
  3. BS 7671: මෙය විදුලි ස්ථාපනයන් සඳහා වන බ්‍රිතාන්‍ය ප්‍රමිතිය වන අතර එය රැහැන් රෙගුලාසි ලෙසද හැඳින්වේ. BS 7671 හි 7 වන කොටස (විශේෂ ස්ථාපනයන් හෝ ස්ථාන සඳහා අවශ්‍යතා) ජාල සම්බන්ධිත සූර්ය පද්ධති ඇතුළුව උත්පාදනය සහිත විදුලි ස්ථාපනයන් සඳහා නිශ්චිත අවශ්‍යතා සපයයි.
  4. IEC 62548:2016 යනු ප්‍රකාශ වෝල්ටීයතා (PV) සම්බන්ධතා සැලසුම් අවශ්‍යතා සඳහා වන  ජාත්‍යන්තර ප්‍රමිතියකි. එය සූර්ය බලශක්ති පද්ධතිවල ප්‍රමිතිය විදුලි වින්‍යාසය, යාන්ත්‍රික සැලසුම්, පාරිසරික සාධක, රැහැන් කරනය, ආරක්ෂාව, භූගත කිරීම මෙන්ම පරීක්ෂණ සහ සත්‍යාපනය ආවරණය කරයි.
  5. ශ්‍රී ලංකාව තුල විදුලි ස්ථාපනයන් සඳහා වන SLS 703 ප්‍රමිතීන් සහ මහජන උපයෝගිතා කොමිෂන් සභාව මගින් වහලය මත සුර්යය පැනල ස්ථාපනය කිරීම සඳහා විශේෂයෙන් සම්පාදනය කල මාර්ගෝපදේශ.

උපුටා ගැනීම: ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයේ විදුලි, ඉලෙක්ට්‍රොනික සහ විදුලි සංදේශ ආංශික කමිටුවේ නියෝජිත (කමිටු සාමාජික) ඉංජිනේරු සන්දිම සමරසිංහ මහතාගේ ලිපියක් ඇසුරිනි.

වර්තමානයේ සූර්ය පැනල පද්ධතියක් සවි කිරීම යනු, මූල්‍යමය වශයෙන් සැලකිය හැකි ඉතාමත්ම ලාභදායී පියවරක් වුවත්, මෙම ලිපියෙහි සඳහන් පරිදි නිසි ඉංජිනේරු මාර්ගෝපදේශ පිලිනොපැදීම ඔබගේ දේපල වලට පමණක් නොව ඔබගේ වටිනා ජීවිතයට ද අවදානම් විය හැක.

වහල මත හෝ භූමියේ සූර්ය පැනල පද්ධති ස්ථාපනය කිරීම සඳහා, ජාත්‍යන්තර හා දේශීයව අනුමත ප්‍රමිතීන් වලට අනුකූලව වරලත් විදුලි ඉංජිනේරුවරුන් හා ශ්‍රී ලංකා සුනිත්‍ය බල අධිකාරියේ (SLSEA) ලියාපදිංචි උපදේශකවරුන් යටතේ ප්‍රායෝගික වැඩසටහන් ඇතුළත් නිසි පුහුණු වැඩසටහනක් ලබා ගැනීම සඳහා Aloka Consultants ආයතනය හරහා දැන් ඔබටත් හැකියාව ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top